
අරාබි රටක කාන්තාවන් කී සැනින් අපට සිහියට එන්නේ ෆර්දාවෙන් මුළු සිරුරම වසාගත්, නිවසටම සීමාවූ කාන්තා ප්රතිරූපයක්. මේ රටවල කාන්තාවන්ට කරන්නට ලැබෙනුයේ ඉතා සීමිත රැකියාවන් පමණයි.
එවන් පසුබිමකදී කාන්තාවක් අරාබි රටක පොලිස් ස්ථානාධිපතිනියක් වීම ඇත්තටම විශ්වාස කරන්න අමාරු තරමේ පුවතක්.
ඒත් 2017 වසර උදාවූයේ එවැනි පුදුම සහගත පුවතක් ලෝකයේ අවධානයට යොමුකරවමින්. ඒ පුවත වාර්තා වූයේ ඕමාන් දේශයෙන්.
ඒ ඕමාන ඉතිහාසයේ ප්රථමවරට කාන්තාවක් එරට පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ස්ථානාධිපතිනියක ලෙස පත්වීමයි.
2017-01-01 දින සිදුවූ මෙම පත්වීම මගින් ලුතිනන් කර්නල් ශයිඛා බින්ට් ඈෂ්හෝර් අල් හම්බාසියාන් පොලිස් ස්ථානාධිපතිනියක ලෙස පත්ව තිබෙනවා.
ඇය පත්ව තිබෙනුයේ එරට අල්වත්යා පොලිස් වසමේ ස්ථානාධිපතිනිය ලෙසය. මේ නව පත්වීම පිළිබඳ සතුටට පත්ව සිටිනා ශයිඛා පවසනුයේ මෙය ඕමාන ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් බවයි.
“ලෝකයේ අමාරුම දේ මවකවී දරුවෙකු බිහිකිරීමයි. එය කළ හැකි කාන්තාවට කළ නොහැකි කුමක්දැයි?” ඇය ප්රශ්න කරනවා.
1990 වසරේදී නවක නිලධාරිනියක ලෙස ඕමාන පොලීසියට බැඳෙන ශයිඛා සිය කැපවීම නිසාම වෘත්තියේ ඉහළටම පැමිණි බව ඇගේ දෙපාර්තමේන්තුවේ ප්රධානීන් පවසනවා.
2011 වසරේ එරට මිලිටරි පොලීසියේ කාන්තා ඒකකයේ ප්රධානී ලෙස පත්වූ ශයිඛා ඉතා කෙටිකලක් තුළ දෙපාර්තමේන්තුවේ ජනප්රිය චරිතයක් වුණා.
විවාහක කාන්තාවක් වන ඇය දෙදරු මවකද වෙනවා. “මගේ රැකියාවට මම ආදරෙයි. ඒත් දරුවන්ට සැමියාට ඊට වඩා ආදරෙයි. දෙපැත්තම සමබරව ගෙනයන්න මට පුළුවන්.” ඇය මාධ්යයට පවසා තිබුණා.
ඇයගේ නව රැකියා ස්ථානය වන අල්වත්යා පිහිටා තිබෙනුයේ මස්කට් අගනුවර නිසා එය ඉතා කාර්යබහුල බව වාර්තා වෙනවා.
“මගේ අලුත් රැකියාව කාර්යබහුලයි. ඒත් මගේ සැමියා සහ පවුලේ අය ඒක දන්නවා. අපේ වැඩකටයුතුවලට ගැටලුවක් නොවන ලෙස එය කරගන්න අපි තීරණය කළා...” යැයිද ඇය පවසනවා.
මේ අසීරු ඉලක්කය තමාට භාරදීම පිළිබඳ ඕමාන පොලිස් දෙපාර්තමේන්තුවට තමා ස්තූති කරන බවත් තමුන් පිළිබඳ තිබූ විශ්වාසය එලෙසම සුරකින බවත් ලුතිනන් කර්නල් ශයිඛා බින්ට් පවසා තිබෙනවා.
තරූෂ ප්රනාන්දු_ලක්බිම
0 Comment to "ඕමාන දේශයේ පළමු පොලිස් ස්ථානාධිපතිනිය"
Post a Comment