Thursday, August 3, 2017

පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේදී දෙදරු පියා මිය යාම: පොලීසියේ 5 දෙනෙක් රිමාන්ඩ් (Video)

police-custody-death-peliyagoda පෑළියගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 5 දෙනා ලබන 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පොලිස් මූලස්ථානය පැවසුවේ, සැකකරුවන් ඊයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ බව ය. සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, උප පොලිස් පරීක්ෂකවරයෙකු හා කොස්තාපල්වරුන් සිව් දෙනෙකි. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ, පොලිස්පතිවරයාගේ පෞද්ගලික අධීක්ෂණයට යටත්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ සිදුකෙරෙන බව ය. පොලිස් අත්අඩංගුවේ සිටියදී එලෙස ජීවිතක්ෂයට පත් වූයේ, බියගම මාබිම රක්ගවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි චදික් ශ්‍යාමන් වික්‍රමාරච්චි නමැති පුද්ගලයෙකි. වයස අවුරුදු 7ක පුතෙකු‍ගේ සහ මාසයක් වයසැති දියණියකගේ පියෙකු වූ ඔහු බියගම රක්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි කුලී රථ පැදවීම රැකියාව ලෙස කළ අයෙකි. පසුගිය 25 වනදා රාත්‍රියේ පෑළියගොඩ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහු රැගෙන විත් ඇත්තේ, ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය බව පවසමිනි. පසු දා උදෑසන පවුලේ ඥාතීන් පෑළියගොඩ පොලීසිය වෙත යාමට සූදානම් වෙද්දී ‍පවුලේ හිතවතෙකු ඔවුන්ට දැනුම් දී ඇත්තේ, චදික් අදාළ පොලිස් ස්ථානයේ නෙමැති බව ය. පසුව අදාළ තරුණයා කොළඹ ජාතික ‍රෝහල වෙත රැගෙන ගොස් ඇති බව පවුලේ ඥාතින්ට දැනගන්නට ලැබී තිබේ. අවසානයේ පවුලේ ඥතීන්ට ඔහුගේ සිරුර දැක ගන්නට ලැබෙන්නේ, කොළඹ පොලිස් මෝචරියේ දි ය. සැකකරු පොලීසිය තුළදී රෝගී වී ඇති බවත් පසුව ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මංකොල්ල කෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු සිදුකළ ප්‍රකාශයක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ය.

මීට පෙර ආසන්නතම වශයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වන්නේ, පුස්සැල්ලාව පොලිස් අත්අඩංගුවේ පසුවූ කවිරාජ් රවිචන්ද්‍රන් නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු සිරමැදිරිය තුළදී මරණයට පත් වීම ය. ඊට දින කිහිපයකට පසු නීතිය හා සාමය පිළිබඳව අමාත්‍ය සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ, පොලිස් ස්ථාන තුළ CCTV කැමරා පද්ධති සවි කරන බව ය. මම නියෝග කරලා තිබෙනවා. සියලුම පොලිස් ස්ථානවල සිරමැදිරිවල CCTV පද්ධති ස්ථාපිත කරන්න අවශ්‍ය නිතිමය පසුබිම බලන්න ඒකට සැලසුම් හදන්න ඒ සදහා මුදල් ඉල්ලන්න කටයුතු කරන්න සුදානම් වෙන්න කියලා. සිර මැදිරි තුළ CCTV කැමරා සවිකිරීමේ නීතියක් පැනවීමට 2016 සැප්තැම්බර් මස 18 වෙන දා විෂය භාර අමාත්‍යවරයා පැවසුව ද එය මේ වන තෙක් ක්‍රියාත්මක වී තිබේ ද? මෙවන් මරණවලට වගකිව යුත්තේ කවුරුන් ද?
_නිව්ස්ෆස්ට්

Share this

0 Comment to "පෑලියගොඩ පොලිස් අත්අඩංගුවේදී දෙදරු පියා මිය යාම: පොලීසියේ 5 දෙනෙක් රිමාන්ඩ් (Video)"

Post a Comment