
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් බැඳුම්කර පිළිබඳ ජනපති කොමිසම නොමඟ යැවීමෙන් ඔහු කොමිසම රට හමුවේ හෑල්ලුවට පත් කළා පමණක් නොව ඊටත් වඩා ප්රබලයකු බව ඔප්පු කිරීමට ද කටයුතු කළ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා චෝදනා කරයි.
ශ්රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට අදාළව අර්ජුන් ඇලෝසියස්ගෙන් කළ ප්රශ්න කිරීම් හමුවේ ඔහු අසත්ය පැවැසීමත්, නඩු විභාගයට අවශ්ය දත්ත ලබා නොදීමටත් කටයුතු කළ ආකාරයෙන් ඔවුන් තවදුරටත් උත්සාහ දරන්නේ එකී වංචාව යටපත් කිරීමට බව ප්රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.
ටිල්වින් සිල්වා මහතා පවසන්නේ අග්රාමාත්ය රනිල් වික්රමසිංහත්, හිටපු ඇමැති රවි කරුණානායකත් එකී වංචාව හා වංචාවට හවුල් වූවන් ආරක්ෂා කිරීමට ආණ්ඩු බලය යොදවමින් සිටින බවයි.
රවි කරුණානායක ඇමැතිවරයා මුදල් ඇමැතිවරයාව සිටි සමයේ බැඳුම්කර වංචාව සිදු කිරීමට ප්රබලව සහාය සැපයූ බවත් අද වන විට ජනපති කොමිසම අවස්ථා දෙකකදීම මඟ හැරීමට එය හේතුවූ බවත් පවසන ඒ මහතා අවධාරණය කළේ ඔහුට මෙපමණ බරපතළ මූල්ය චෝදනා එල්ල වී තිබියදීත් තවදුරටත් අමාත්ය ධුරයේ තැබීමට කටයුතු නොකරන ලෙසයි.
එලෙස වංචා දූෂණ සම්බන්ධව ආණ්ඩුව දක්වන මුරණ්ඩුකම හා ප්රතික්රියාව පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් ආණ්ඩුවේ සොරුන් රැකීමේ උත්සාහය ව්යර්ථ කිරීමටත් පක්ෂයක් ලෙස ගත හැකි සෑම ක්රියාමාර්ගයක්ම ගන්නා බව ඔහු කියයි. (අනුරාධා හේරත් - මව්බිම)
0 Comment to "අර්ජුන් ඇලෝසියස් ජනපති කොමිසම නොමඟ යවා හෑල්ලුවට ලක් කළා"
Post a Comment